ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන.

ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලබන ආර්ථික අඟහිගතාවයෙන් පෙළෙන දරුවන්ට ඔවුන්ගේ පවුල් පසුබිම,  ආදායම් තත්ත්වය,  පවුල් බර,  ශිෂ්‍යයාගේ දක්ෂතාවය වැනි කරුණු දැඩි පරීක්ෂාවකට පත්කර තෝරාගැනීම සිදු කරයි.

විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය,  ධර්මවිජය සමාජයේ සභාපති ස්වාමීන් වහන්සේ හා පෞද්ගලිකව ඉදිරිපත්වීම් මත ලැබෙන ඉල්ලීම් ධර්මවිජය පදනමට ලැබේ.  එවැනි ඉල්ලීමක් ලැබුණු විට අප පදනම විසින් සකස් කළ පිටු 6 කින් සමන්විත තොරතුරු රැස්කිරීමේ ආකෘතිපත‍්‍රය ඉල්ලූම්කරු විසින් පුරවා,  විශ්ව විද්‍යාල ලේඛකාධිකාරිතුමා,  ගමේ පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ,  ග‍්‍රාමසේවක හා ශිෂ්‍යයාගේ දෙමව්පියන් විසින් සහතික කළ එම අයදුම්පත‍්‍රය අප පදනම වෙත එවිය යුතුය.  එම තොරතුරු විශ්ලේෂණය කර ලබාගන්නා පූර්ව  අධ්‍යයනය අනුව ශිෂ්‍යයා/ශිෂ්‍යාව සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ.  අවම වශයෙන් විනාඩි 30 කට නොඅඩු කාලයක් ශිෂ්‍යයා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් පරීක්ෂාවට භාජනය කරයි.  එහිදී ධර්මවිජය පදනමේ පරමාර්ථ හා ශිෂ්‍යත්ව වැඩ සටහනේ අරමුණ රටට වැඩදායී සාරධර්ම සුරකින යහපත් පුරවැසියකු බිහි කිරීම බව ප‍්‍රතිලාභියාගේ මනසට කාවැද්දීම ප‍්‍රධාන අරමුණකි.  සියලූ පසුබිම් තොරතුරු හා ආදායම් වියදම් ඉතා මැනවින් හැදෑරීමෙන් පසු මාසික ශිෂ්‍යත්ව අරමුදලේ ප‍්‍රමාණය තීරණය කරනු ලැබේ.

ශිෂ්‍යත්වලාභියකු තෝරාගත් වහාම දානපති අනුග‍්‍රාහක පින්වතුන්ටත්, අදාළ විශ්ව විද්‍යාලයටත්, දෙමව්පියන්ටත් දන්වනු ලැබේ.  ශිෂ්‍යයා විසින් සෑම විභාගයකම ප‍්‍රතිඵල,  විශ්ව විද්‍යාල ලේඛකාධිකාරිගේ අත්සන සහිතව ධර්මවිජය පදනම වෙත එවිය යුතුය.  අධ්‍යයන ප‍්‍රගතිය ශිෂ්‍යත්වය අඛණ්ඩව ලබා ගැනීමට සුදුසුකමක් වේ.  දානපති පින්වතුන්ගේ කැමැත්ත මත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන් හා කෙළින්ම සම්බන්ධ වීමේ හැකියාව, සම්බන්ධීකරණය ගොඩ නගමු.

දැනට වාර්ෂිකව ශිෂ්‍යත්වලාභින් 180 කට පමණ ශිෂ්‍යාධාර සපයමු.  ඉන් 98% පමණ ම වෛද්‍ය,  ඉංජිනේරු හා නීති ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ය.  ශිෂ්‍යාධාර වශයෙන් වසරකට දරන වියදම රුපියල් ලක්ෂ 54 කට වඩා මඳක් වැඩිය.  ඉන් රුපියල් ලක්ෂ 52 ක් පමණ ම දේශීය/විදේශීය පෞද්ගලික දානපතීන්ගේ ධන පරිත්‍යාගයෙන්ය. ඉතිරිය භාර අරමුදල් වලිනි.

ශිෂ්‍යත්වලාභින්ගෙන් 90%ක් ගම්බද ප‍්‍රදේශ වලිනි. තෝරාගන්නා පවුල්වලින් බොහෝමයක පියා කුලීවැඩ, ගොවිතැන, සාමාන්‍ය රියදුරෙකු,  ත‍්‍රිරෝදරථ රියදුරෙකු වේ.  බොහෝ පවුල් වල පියා/මව මිය ගොස්ය. නැතිනම් වකුගඩු රෝගියෙකි, පිළිකා රෝගියෙකි, අංශභාග රෝගියෙකි. සාමාන්‍යයෙන් පවුලේ දරුවන් 4ක් හෝ ඊට වැඩිය. තෝරාගන්නා ශිෂ්‍යත්වලාභියා පවුලේ වැඩිමලා වන විට, අනිත් බාල සියලූ දෙනා පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ය. සමහර පවුල්වල බොහෝවිට දෙදෙනෙක්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නන්ය. ඉඩමක් ගෙයක් නැත.  ස්ථිර රැකියාවක්, ආදායමක් නැත. බොහෝ දෙනා සමෘද්ධිලාභීන්ය.

උදාහරණයක් ලෙස තෝරාගත් ප‍්‍රතිලාභියකුගේ පියා නැත. මව පිළිකා රෝගයෙන් පෙළේ.  සිවුදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. උසස් පෙළ කරන අවධියේ කුලි වැඩ කර මුදල් සොයාගෙන ඇත.  උපකාරක පන්ති ගොස් නැත. උසස් පෙළ තෙවන වර සමත් වී වෛද්‍ය විද්‍යාලයට තේරී ඇත.  උසස් පෙළ ප‍්‍රතිඵල ලැබෙන තෙක් දවාලට ටියුෂන් දීම හා රාත‍්‍රියේදී වැඩපලක ආරක්ෂක සේවයේ යෙදීමෙන් වියදමට මුදල් රැස්කරගෙන තිබේ.  වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරට පිවිසීමට හා පළමු වසරේ වියදම සපුරාගෙන ඇත්තේ එලෙස රැස්කරගත් මුදලිනි. වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරේ නිවාඩු කාලයේත් රාත‍්‍රී මුර සේවයට ගොස් ඇත. මේ තෝරාගත් එක් ශිෂ්‍යයෙක් සම්බන්ධ කතන්දරයයි.

ශිෂ්‍යත්වලාභියකුගේ මාසික ආදායම් සහා වියදම් පරීක්ෂා කර බැලීමෙන් පසු මසකට රු.3000 – 5000 අතර ආධාර මුදලක් ධර්මවිජය පදනම විසින්,  ඔහුගේ ඇයගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කාලය තුළ : රු.3000 – 5000X මාස 12X  අවුරුදු 5ක් = රු.180,000 / 300,000) ලබාදීමට කටයුතු කරයි.

වාර්ෂිකව තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දින දෙකක නේවාසික වැඩමුළුවකට අනිවාර්යයෙන් සහභාගි විය යුතුය.  එහිදී ධර්මවිජය පදනමේ පරමාර්ථ,  නායකත්ව ගුණාංග,  ගැටලූ නිරාකරණය,  පුරවැසියකුගේ යුතුකම් හා වගකීම්,  සාරධර්ම වර්ධනය වැනි ධර්මානුකූල පුහුණුවක් ලබාදෙනු ලැබේ.  අවසානයේදී තමා ඒ හා බැඳී සේවය කරන බවට ප‍්‍රතිඥාවක් ශිෂ්‍යයා විසින් අත්සන් කර භාරදිය යුතුය.