වගා ළිං ඉදිකිරීමේ ව්‍යාපෘතිය.

ශ‍්‍රී ලංකාවේ උතුර,  උතුරු මැද හා නැගෙනහිර පළාත්වල මාස 09 ක් පමණ පවතින වියළි කාලගුණය නිසා,  85% ක් පමණ වූ ගොවි ජනතාව වගා කටයුතු සඳහා ප‍්‍රමාණවත් ජලය නොලැබීමෙන්, උග‍්‍ර ජල ගැටලූවකට මුහුණපායි.  මහ කන්නයට පෙර විශේෂයෙන් කෙරෙන ගොඩ ගොවිතැන හා ගොඩ ඉඩම්වල ස්ථිර වගාව විනාශ වීමෙන් පූර්ණකාලීනව කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ආර්ථිකය හා ජනජීවිතය බිඳ වැටේ.

පවුලේ සියලූ දෙනා එකතු වී කරන ගොඩ ගොවිතැනට,  අක්කර 1-2 සිට අක්කර 3-4 දක්වා වූ බිමක් වෙන් වුවත්,වගාව ආරම්භයේදී ජලය අපේක්ෂාවෙන් වගා කළත්, අතරමැදදී එළඹෙන වියළි කාලය නිසා මුළු වගාවම පාලුවී, ලබාගත් ණය ගෙවා ගැනීමට පවා නොහැකි වී, අන්ත අසරණ තත්ත්වයට පත්වේ. ධර්මවිජය පදනම විසින් වගා ළිං ඉදිකිරිමේ ව්‍යාපෘතිය අරඹා ඇත්තේ ගොවීන්ගේ දැවෙන ප‍්‍රශ්නය වූ ජල හිඟයට පිළිතුරක් වශයෙනි.

ධර්මවිජය පදනම විසින් එම පළාත්වල පිහිටු වූ ධර්මවිජය සමාජයේ සභාපති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්, ධර්මවිජය සමාජයේ සාමාජික පවුල් හයක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයකට වගා ලිඳක් බැගින් ඉඳිකරනු ලැබේ. එක් වගා ලිඳකින් අක්කර 8-12 ප‍්‍රමාණයකට ජලය සපයා ගත හැකි වනු ඇත.

වගා ලිඳ ඉඳිකරන්නේ පොදු ඉඩමක හෝ ජලය සහිත පෞද්ගලික ඉඩමකය. එක් වගා ලිඳක් පාවිච්චි කරන්නන් පළමුව, වගා ලිඳ පාවිච්චි කිරීමේ අන්‍යෝන්‍ය එකඟතා ගිවිසුමක් අත්සන් කළ යුතුය. ජලය සපයා ගැනීමේ හා වගා ලිඳ නඩත්තු කිරීමේ කොන්දේසි ද ඊට ඇතුළත්ය. ළිං ජලය පොම්ප කර ගැනීමේ යන්ත‍්‍ර හා ජල නල එක් එක් පවුල විසින් වෙන් වශයෙන් සපයා ගැනේ.

වගා ළිඳක සාමාන්‍ය විෂ්කම්භය අඩි 30 පමණ වේ.  අඛණ්ඩ ජල සැපයුමක් සහතික කර ගැනීම සඳහා ජලධරය තෙක් හෑරීම සිදු කරන නිසා ලිඳක ගැඹුර ස්ථානයෙන් ස්ථානයට වෙනස් වුවත්, සාමාන්‍යයෙන් අඩි 25 ක ගැඹුරක් හෑරීමට සිදුවේ. එම ප‍්‍රදේශවල බුරුල් පස නිසා ලිං පතුලේ සිට බිම් මට්ටම දක්වාත්, බිම් මට්ටමෙන් අඩි 3 ක් පමණ උසටත් ගඩොල් හෝ කළුගල්යොදා පැති බැමි ඉඳිකරනු ලැබේ.  එහෙයින් කාලීන ජල ප‍්‍රශ්නයට විසදුමක් ලැබීමෙන්, ගොවි පවුල් ගණනාවක ආර්ථික හා ජීවන ගැටලූවට ස්ථිරසාර පිළියමක් මෙම ව්‍යාපෘතියෙන් ලැබේ.

වගා ළිඳක් ඉදිකිරීමේ වියදමින් කොටසක්, ප‍්‍රතිලාභීන් විසින් ගෙවිය යුතු ණයක් වශයෙන් ඉතාමත් සැහැල්ලූ කොන්දේසි මත ධර්මවිජය පදනම විසින් ලබාදෙනු ලැබේ. වසර 5 කින් පමණ ගෙවී යන එම ණය මුදලට නාමිකව අය කරනු ලබන පොලිය, ධර්මවිජය සමාජයේ මූල්‍යමය ශක්තිය ගොඩ නැගීමට යෙදවේ තම වගාව සාර්ථක කරගෙන ඉතිරි ලබන ආදායමෙන් ගෙවන සැහැල්ලූ ණයක් නිසා මෙන්ම ක‍්‍රමයෙන් ණය බරක් නොමැති ව ගොවීන්ගේ ධනාත්මක එකඟතාව ඊට ලැබේ.

මුළු වගා බිම් ප‍්‍රමාණය, ගොවි පවුල් සංඛ්‍යාව,  වගාවේ ස්වභාවය, ජලධරයේ ස්වභාවය වැනි කරුණු මත වගා ළිඳක ප‍්‍රමාණය හා වියදම වෙනස් වේ.  එහෙත් දළ වශයෙන් එක් වගා ලිඳක් සඳහා රුපියල් ලක්ෂ 4- 5 පමණ වැය වේ.

වගා ළිං ඉදිකරදෙන ලෙස ධර්මවිජය සමාජවලින් නිරතුරු ඉල්ලීම් ලැබෙතත්, ප‍්‍රමාණවත් අරමුදල් නොමැති හෙයින්, වසරකට වගා ළිං ලබාදිය හැක්කේ සීමිත ප‍්‍රමාණයකි. පරිත්‍යාගශීලීන්ගෙන්, පූර්ණ වගා ළිඳකට හෝ කොටසකට පරිත්‍යාග ලැබෙන්නේ නම් මෙම ව්‍යාපෘතිය දැනට වඩා පුළුල් කළ හැකිය. මෙම ව්‍යාපෘතිය විශාල පිරිසකට ප්‍රයෝජනවත් වන සාර්ථක ව්‍යාපෘතියකි.  ධර්මවිජය පදනම පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු සහාය මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අපේක්ෂා කරයි.