දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම.

ධර්මවිජය පදනම විසින් අනුමත කරන ලද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ධර්මවිජය සමාජ 468 විහාරස්ථාන මුල්කර, විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන යනු ලබයි.  එම සෑම විහාරස්ථානයකම දහම් පාසල් පවත්වාගෙන යනු ලැබේ.

සාමාන්‍යයෙන් දහම් පාසලක ශිෂ්‍ය සංඛ්‍යාව 100 සිට 400/500 දක්වා විවිධ වන අතර,  දහම් පාසල් ගුරු සංඛ්‍යාව 2 සිට 8/10 දක්වා වෙනස් වේ. කාර්ය බහුල ඉරිදා දහම් පාසල් දිනයට විශාල දෙමාපිය පිරිසක්ද සහභාගි වීම ශිෂ්‍ය සංඛ්‍යාව අනුව වෙනස් වේ.

දහම් පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ දහම් පාසල් ගුරු පුහුණුව ලබාදීම,  දහම් පාසල් පුස්තකාල පොත්පත් හා කබඞ් ලබාදීම,  ඩෙස් බංකු, ගුරු පුටු,  මේස,  කළු ලෑලිආදී උපකරණ ලබාදීම මූලික වේ. ඒ අතර දරුවන්ගේ පෝෂණය නැංවීම සඳහා කොළකැඳ සූදානම් කිරීමේ මෙවලම් කට්ටල ලබාදේ.  දෛනික හදිසි අවස්ථාවල පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සමඟ ප‍්‍රථමාධාර පෙට්ටියක් දහම් පාසලේ නිත්‍ය ස්ථානයක සවි කිරීම ද වැඩ සටහනේ එක් අංගයකි.

නිසි ප‍්‍රමිතියෙන් යුත් ප‍්‍රථමාධාර පෙට්ටියක් නිෂ්පාදනය කර බෙහෙත් ද්‍රව්‍ය සමග බෙදා හැරීම සදහා දළ වශයෙන් ධර්මවිජය පදනමට වැය වන මුදල රුපියල් 7000/- ක් වේ.  ප‍්‍රථමාධාර පෙට්ටියක් දහම් පාසලකට ප‍්‍රදානය කිරීම ධර්ම දානයට ආනුසංගික සෞඛ්‍ය  දානමය පිංකමක් වේ.

ප‍්‍රමාණවත් දානපතීන් ඉදිරිපත් නොවීමේ හේතුවෙන් අප පදනමට මෙම සත්කාර්ය කරගෙන යෑම සීමිත වී තිබේ.  අවම වශයෙන් එක් ප‍්‍රථමාධාර පෙට්ටියක් ත්‍යාග කිරීම සඳහා වූ වියදම වශයෙන් රු.7000/-බැගින් ලබාදීමට දානපති පින්වතුන් ඉදිරිපත් වන්නේ නම්,  ධර්මවිජය පදනමට මේ සත්කාර්ය අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය හැකිය.  සැදැහැවත් පින්වතුන් මේ සත්කාර්යයට දායක වේවායි අපේක්ෂා කරමු.

උප්පත්තියක් ලැබීමේ වාසනාව විඳිය හැක්කේ, නිරෝගි බවක් ලැබුනොත් පමණි. ඊට කුසල කර්ම රැස්කරගත යුතුය. ඔබටත් සුදුසු අවස්ථාවක් ලැබී ඇත.