ගරු සභාපති සුමේධ අමරසිංහ මහතා.

Dharmavijaya-Chairman-Sumedha-Amarasingheකොළඹ තරුණ බෞද්ධ සංගමයේ එවකට සභාපතිව සිටි ජනාධිපති නීතිඥ එරික් අමරසිංහ වන මගේ ආදරණීය පියාණන් ගේ මග පෙන්වීම මත 1987 වර්ෂයේ දිනක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමියෝ බැහැදැකීමට මට අවස්ථාව ලැබුණි. එසේ හමු වූ දින උන්වහන්සේ ගේ අනුශාසනා මත මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ක‍්‍රියාත්මක තුරුණු සවිය සංවිධානයට මාව සම්බන්ධ කර ගනු ලැබුණි. උන්වහන්සේගේ උදාර උතුම් සංකල්පයක් වූ, මිනිසා හදා ගනිමින් රටත් හදාගනිමු යන පාඨයට එදා මගේ සිත යොමු විය. ඒ අනුව ධර්මවිජය පදනම නම් වූ ඒ උසස් සමාජ සංවිධානයට සම්බන්ධ වීමට මට ආරාධනාවක් ලැබුණි. 1988 අපේ‍්‍රල් මස 28 වන දින සිට ධර්මවිජය පදනමෙි භාරකාර මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් සම්බන්ධ වී සිටින අතර 1989 ඔක්තෝම්බර් මස පැවැත්වූ මහා සභා රැස්වීමේ දී එහි ගරු භාණ්ඩාගාරික ලෙස එතෙක් එම තනතුර දැරූ ජේෂ්ඨ වරලත් ගණකාධිකාරවරයකු වු එල්.එස්.අයි වික‍්‍රමසිංහ මහතාගේ යෝජනාව මත එම තනතුර සඳහා මාව පත් කර ගනු ලැබුණි.

දිවයිනේ විහාරස්ථාන ආශ‍්‍රිතව පිහිටුවා ඇති ධර්මවිජය සමාජ සංඛ්‍යාව මේ වන විට 467 කි. පොදු සමාජ ජාලයක් ලෙස ක‍්‍රියාත්මක වන මෙම ආයතනයට මූල්‍ය ආධාර ලබා දෙන්නේ දිවයිනේ සහ ඉන් පිටත සිටින පරිත්‍යාගශීලීන්ය. ධර්මවිජය පදනම සතුව පිහිටුවා ඇති භාරකාර අරමුදල් සංඛ්‍යාව මේ වන විට 77 කි. වාර්ෂිකව ඒ අරමුදල්වලින් ලැබෙන පොලිය සහ ඊට අමතරව ලැබෙන මූල්‍ය පරිත්‍යාග උපයෝගී කරගෙන දිවයිනේ උතුරේ සිට දකුණටත් නැගෙනහිර සිට බටහිරටත් පිහිටි වෙහෙර විහාරස්ථාන සහ ධර්මවිජය සමාජ සම්බන්ධ කරගනිමින් අධ්‍යාපන, සෞඛ්‍ය, සදාචාර හා ආර්ථික වශයෙන් විශාල සමාජ මෙහෙවරක් ඉටුකරනු ලබයි. ස්වෙච්ඡුාවෙන් ක‍්‍රියාකරන රටේ පිළිගත් විද්වතුන්, වෛද්‍යවරු, ගණකාධිකාරිවරු, ඉංජිනේරුවරු, නීතීඥයින් පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත 30 දෙනෙකුගේ ශක්තිය මත ගොඩනැඟී ඇත. අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේ අද වැඩ සිටියේ නැතත් උන්වහන්සේගේ උදාර සංකල්පය මුළු මහත් ලෝකයටම සෙතකි, ශක්තියකි. පිළිසරණක් අවශ්‍ය අසරණ වූවන්ට පිහිටක් වෙමින් බෞද්ධ ආර්ථික ප‍්‍රතිපත්ති මත මිනිසා දෙපයින් නැගී සිටුවීමට ධර්මවිජය පදනමට සහ භාරකාර මණ්ඩලයට ශක්තියක් ලබා දීමට ලැබීම මා ලද භාග්‍යයකි. මහා නායක ස්වාමීන් වහන්සේ එදා ප‍්‍රාර්ථනා කළ පැතුම් ඉටුකිරීම අපගේ වගකීමයි. එය ඉටු කිරීමට අප භාරකාර මණ්ඩලයේ සියලූම දෙනාගේම අන්‍යෝන්‍ය සහයෝගය මම බලාපොරොත්තු වෙමි.